ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බලගැන්වූ යුරේනියම් යනු මොනවා ද? ඇමෙරිකා - සෞදි න්‍යෂ්ටික ගිවිසුම මතභේදාත්මක වන්නේ ඇයි?
- Author, ලුවිස් බරූචෝ
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඇමෙරිකාව සහ සෞදි අරාබිය වැදගත් ගිවිසුමක් අත්සන් කර ඇති අතර වාර්තා වන පරිදි එමගින් සෞදි අරාබියට තම රට තුළදී ම යුරේනියම් බලගැන්වීමට අවස්ථාව හිමි වනු ඇත.
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට අනුව, මෙම ගිවිසුම "සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක්" ලෙස හඳුන්වා දී ඇති අතර, එමගින් සෞදි න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන තුළ ඇමෙරිකානු සමාගම්වලට විශාල ප්‍රවේශයක් හිමි වේ.
මෙම ගිවිසුම යටතේ සෞදි අරාබිය සිවිල් න්‍යෂ්ටික වැඩසටහනක් සංවර්ධනය කිරීමට නියමිත අතර, ගිවිසුමේ සම්පූර්ණ පිටපත මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැත. බලගාර සඳහා බලගන්වන ලද යුරේනියම් ඉන්ධන ලෙස මෙන් ම න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය සඳහා ද යොදාගත හැකි ය.
විශේෂඥයන් පවසන්නේ, දැනටමත් නොසන්සුන්කාරී තත්ත්වයක පවතින කලාපය තුළ අනාගතයේදී න්‍යෂ්ටික බලය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ය.
මාස ගණනාවක් පුරාවට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමග පවතින ගැටුමේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ ද න්‍යෂ්ටික අර්බුදය යි. ඉරානයට පහර දීමට එක් හේතුවක් වූයේ එම රට කිසි දිනෙක න්‍යෂ්ටික ආයුධයක් නිපදවීම වැළැක්වීම බව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පවසයි. එලෙස සිදුකිරීමට සැලසුම් කළ බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි.
සෞදි අරාබියට යුරේනියම් බලගැන්වීමට අවසර ලැබෙයි ද?
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා තහවුරු වුවහොත්, සෞදි න්‍යෂ්ටික ගිවිසුම දුර්ලභ අසාමාන්‍ය සිදුවීමක් වනු ඇත.
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවට අනුව, එක්සත් ජනපදය මේ වන විට රටවල් 50ක් සමග පමණ "සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම්" සඳහා එළඹ තිබේ. මෙම ගිවිසුම් මගින් න්‍යෂ්ටික ද්‍රව්‍ය, ඉන්ධන, ප්‍රතික්‍රියාකාරක, තාක්ෂණය මෙන් ම ඒකාබද්ධ පර්යේෂණ හුවමාරු කර ගැනීමට අවසර හිමි වේ.
නමුත් න්‍යෂ්ටික ඉන්ධන මෙන් ම න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය සඳහා ද අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වන තම රට තුළදී ම යුරේනියම් සාන්ද්‍රණය ඉහළ නැංවීමේ හැකියාව මේ දක්වා හිමිව ඇත්තේ රටවල් දෙකකට පමණි. ඒ ඉන්දියාවට සහ ජපානයට යි.
සෙසු රටවලට න්‍යෂ්ටික ඉන්ධන ආනයනය කිරීමට සිදු වන අතර, බලශක්ති උත්පාදනය සඳහා භාවිත කළ න්‍යෂ්ටික ඉන්ධන නැවත සකස් කිරීම ද ඔවුන්ට තහනම් කර ඇත. මෙම තාක්ෂණික ක්‍රමවේදය මගින් ප්ලූටෝනියම් සහ යුරේනියම් වැනි භාවිත කළ හැකි න්‍යෂ්ටික ද්‍රව්‍ය නැවත ලබා ගත හැකි ය.
මෙලෙස එම තාක්ෂණය තහනම් කර ඇති රටවල් අතර සෞදි අරාබියේ අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද වේ.
එක්සත් ජනපදය පදනම් කර ගත් Defense Priorities නමැති බුද්ධි මණ්ඩපය මැදපෙරදිග වැඩසටහන් අධ්යක්ෂ රෝස්මරි කෙලනික් පවසන්නේ, අදාළ ගිවිසුමට එක්සත් ජනපදය සෞදි අරාබියට යුරේනියම් බලගැන්වීමට පහසුකම් ලබා දීමට ඉඩ දීම ඇතුළත් වුවහොත් එය තරමක් කම්පනසහගත තත්ත්වයක් ඇති කරනු ඇති බව ය.
"ඇමරිකාව මීට පෙර කිසි දිනෙක එවැනි දෙයක් කර නැහැ. වෙනත් රටකට තමන්ගේ ම භූමිය තුළ යුරේනියම් සාන්ද්‍රණය ඉහළ නංවා ගැනීමට අපි කිසිවිටෙකත් උදව් කර නැහැ," ඇය පැවසුවා ය. ඇය ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ, තමන්ගේ ම න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබුණු විට, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් එම රට වඩාත් විශාල අවදානමක් බවට පත්වීම යි.
බලගැන්වූ යුරේනියම් යනු මොනවා ද?
යුරේනියම් යනු පෘථිවි පෘෂ්ඨයේ ස්වාභාවිකව දක්නට ලැබෙන මූලද්‍රව්‍යයකි.
එය ප්‍රධාන වශයෙන් සමස්ථානික දෙකකින් සමන්විත වේ. ඒ U-238 සහ U-235 යනුවෙනි.
ස්වාභාවික යුරේනියම්වලින් 99%කට වඩා වැඩි ප්‍රමාණයක් U-238 සමස්ථානිකය යි. නමුත් එමගින් පහසුවෙන් න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් පවත්වාගෙන යා නොහැක. 0.7% ක් පමණ පමණක් U-235 වන අතර එය න්‍යෂ්ටික විඛණ්ඩනය ලෙස හැඳින්වෙන ක්‍රියාවලියකදී ශක්තිය මුදා හරිමින් පහසුවෙන් බෙදිය හැකි සමස්ථානිකයකි.
යුරේනියම් ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමට නම්, බලගැන්වීම නමැති ක්‍රියාවලිය හරහා එහි ඇති U-235 ප්‍රමාණය වැඩි කළ යුතු ය.
පළමුව යුරේනියම් වායුවක් බවට පරිවර්තනය කරනු ලැබේ. අනතුරුව මෙම වායුව අතිශය අධික වේගයෙන් කැරකෙන කේන්ද්‍රාපසාරී යන්ත්‍ර තුළට යොමු කෙරේ.
ඒවා භ්‍රමණය වන විට, බරින් වැඩි U-238 ස්වල්පයක් පිටතට ගමන් කරන අතර, සැහැල්ලු U-235 කේන්ද්‍රයට ආසන්නව රැඳී පවතී.
මෙමගින්, ස්වාභාවිකව දුර්ලභ නමුත් භාවිතයට ඉතා ප්‍රයෝජනවත් U-235 කොටස්, බහුලව ඇති U-238 කොටස්වලින් ක්‍රමයෙන් වෙන් කර ගනු ලබයි.
සාන්ද්‍රණය වැඩි කරන ලද යුරේනියම්, කේන්ද්‍රාපසාරී යන්ත්‍රයේ එක් කෙළවරකින් පිටතට ගනී.
න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල සහ ආයුධවල භාවිත කරන යුරේනියම් අතර වෙනස කුමක් ද?
විවිධ මට්ටම්වල බලගැන්වීම් හරහා යුරේනියම් විවිධ භාවිතයන් සඳහා සුදුසු තත්ත්වයට පත් කරයි.
වාණිජමය න්‍යෂ්ටික විදුලිබල උත්පාදනාගාරවල ඉන්ධන ලෙස භාවිත කරනු ලබන්නේ, 3% සිට 5% දක්වා අඩු මට්ටමකට U-235 සාන්ද්‍රණය ඉහළ නංවන ලද යුරේනියම් ය. පාලනය කළ හැකි න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් පවත්වාගෙන යාමට මෙම ප්‍රමාණය ප්‍රමාණවත් වුව ද, එය න්‍යෂ්ටික ආයුධයක් තැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා අඩු මට්ටමකි.
20%ක් හෝ ඊට වැඩි මට්ටමකට බලගැන්වූ යුරේනියම් පර්යේෂණාත්මක ප්‍රතික්‍රියාකාරක සඳහා භාවිත කළ හැකි අතර, ආයුධ ශ්‍රේණියේ යුරේනියම් සාමාන්‍යයෙන් 90%ක් දක්වා බලගන්වයි.
එවැනි සාන්ද්‍රණයකදී න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් ක්ෂණිකව ම පාලනයෙන් තොරව වේගයෙන් සිදුවීමට අවශ්‍ය පසුබිම සැකසෙයි. මෙවැනි ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට එකතු වූ විට, පරමාණු ඉතා ශීඝ්‍රයෙන් විඛණ්ඩනය වීමට පටන් ගන්නා අතර, තත්පරයකින් පංගුවක් ඇතුළත අතිවිශාල ශක්තියක් පිට කරයි.
යුරේනියම්වල සිවිල් භාවිතය සහ හමුදා භාවිතය සඳහා වෙන් කරන්නේ එය යි: ප්රතික්රියාකාරකයකදී ඉන්ධනවල ඇත්තේ අඩු සාන්ද්‍රණයක් වන අතර, ප්‍රතික්‍රියාව සැලසුම්සහගතව මන්දගාමී කර අතිශය පරිස්සමින් පාලනය කරනු ලබයි. එමගින් මාස හෝ වසර ගණනාවක් පුරා බලශක්තිය මුදා හැරීමට ඉඩ සැලසේ. බෝම්බයක ඉලක්කය ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. එනම් ප්‍රතික්‍රියාව එකවර වේගවත් කිරීමට ඉඩ ලබා දෙයි.
සෞදි අරාබිය න්‍යෂ්ටික බෝම්බයක් නිර්මාණය කරයි ද?
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව ජූලි 22 වන දින මෙම ගිවිසුම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ සහයෝගිතා ගිවිසුම මෙන් ම ''ද්විපාර්ශවික ආරක්ෂණ ගිවිසුමකට ද" අත්සන් තැබූ බව ය.
"මෙම ගිවිසුම් දෙක එක්ව, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම ඇතුළු ප්රමුඛ ආර්ථික හා උපායමාර්ගික අරමුණු රැසක් ඉදිරියට ගෙන යන, දශක ගණනාවක් පුරා දිවෙන ඩොලර් බිලියන ගණනක හවුල්කාරිත්වයක් සඳහා නීතිමය පදනම සකස් කරයි," යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.
සෞදි රජය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම ගිවිසුම "බලශක්ති ක්ෂේත්රය තුළ දෙරට අතර පවතින සහයෝගීතාවයේ තවත් ඉදිරි පියවරක්" වන බවයි. එමෙන්ම සෞදි අරාබියේ තථ්‍ය පාලක, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පසුගිය නොවැම්බර් මාසයේදී වොෂින්ටනයේ කළ සංචාරයෙන් අනතුරුව මෙම එකඟතාවට පැමිණි බව ද එහි වැඩිදුරටත් දැක්වේ.
බින් සල්මාන් කුමරු 2018 වසරේදී CBS පුවත් සේවයට පැවසුවේ, තම රට න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට සැලසුම් නොකරන නමුත්, "ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් සංවර්ධනය කරන්නේ නම්, කිසිදු සැකයකින් තොරව හැකි ඉක්මනින් එය අනුගමනය කරන" බව ය.
මෙම මැදපෙරදිග රාජ්‍යය 2010 වසරේ සිට සිවිල් න්‍යෂ්ටික වැඩසටහනක් සංවර්ධනය කිරීමට උත්සහ කරමින් සිටින බව සඳහන් කිරීම වැදගත් ය. කෙසේ වෙතත් වර්තමානය වන විටත් කිසිදු න්‍යෂ්ටික බලගාරයක් ඔවුනට නොමැත. ගෝලීය න්‍යෂ්ටික බලශක්ති කර්මාන්තය නියෝජනය කරන ජාත්‍යන්තර සංවිධානය වන ලෝක න්‍යෂ්ටික සංගමයට අනුව, න්‍යෂ්ටික බලශක්තිය නිපදවීමේ කිසිදු හැකියාවක් දැනට සෞදි අරාබිය සතුව නොමැත.