'මම ගැබ් අරගෙන කියලා මටත් කලින් මගේ ෆිට්නස් ට්‍රැකර් එක දැනගෙන හිටියා'

A designed image showing a woman (face not shown) wearing an Oura ring and looking at health stats on her phone; on the left is a larger image of the ring. It's set against a background of blue, purple and red circles.
    • Author, අෂිතා නාගේෂ්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

තම ෆිට්නස් ට්‍රැකර් උපාංගයෙන් මීට පෙර නොලැබුණු ආකාරයේ ඇඟවීමක් ලැබෙන මොහොතේ රවිකා සිටියේ නිවාඩු දිනයක ඇගේ සැමියා සමග ඇගේ උපන්දිනය සමරමිනි.

ඇගේ ඕරා මුදුව, ඇගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී ඇති බවට අනතුරු ඇඟවීය. ඇගේ හෘද ස්පන්දන වේගය සහ ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් තිබූ අතර හෘද ස්පන්දන වේගයේ විචල්‍යතාව පහළ බැස තිබිණි. නමුත් රවිකාට කිසිදු අපහසුතාවක් නොදැනිණි.

සතියකට පසුව ද මෙම දත්තවල යහපත් වෙනසක් නොවුණු බැවින් වෙස්ට් මිඩ්ලන්ඩ්ස්හි සේවය කරන 34 හැවිරිදි නීතිඥවරියක වන ඇය අන්තර්ජාලය ඔස්සේ ඒ සම්බන්ධයෙන් සොයා බැලුවා ය. එහිදී, ෆිට්නස් ට්‍රැකර් මගින් එක්රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින් තමන් ගර්භණී බවට ඉඟි ලැබුණු බව පැවසූ කාන්තාවන් පිරිසක් ඇයට හමු විය.

සතියකින් අනතුරුව ඇය ගර්භණීභාවය පිළිබඳ පරීක්ෂාවක් සිදු කළ අතර එය ධනාත්මක විය.

A photo of a young woman sitting at a table in a busy restaurant. Her brunette hair is tied back and she is wearing an off-the-shoulder black top, with her nude-toned handbag on the table.

ඡායාරූප මූලාශ්‍රය, Ravika

ඡායාරූප ශීර්ෂ වැකිය, තම සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බව Oura Ring උපාංගය පෙන්වා දුන්න ද, තමන්ට කිසිදු අපහසුතාවක් නොදැනුණු බව රවිකා පවසයි

එහෙත් උදරයේ වේදනාවක් ඇතිවීමත්, ඇගේ ශරීරය සැලකිය යුතු මට්ටමේ පීඩනයකට ලක්ව ඇති බව ජංගම දුරකතනය මගින් දැනුම්දීමත් සමග, ඇය වෛද්‍යවරයකු හමුවීමට ගියා ය. ගැබ්ගැනීම සෞඛ්‍ය සම්පන්න ද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වෙනුවෙන් දින 10කට පසුව නැවත පැමිණෙන ලෙස ඇයට එහිදී උපදෙස් ලැබිණි.

බලාසිටීම මහත් පීඩාකාරී විය. එය ඇගේ ෆිට්නස් ට්‍රැකර් උපාංගයේ සටහන් වන දත්ත දෙස නොඉවසිල්ලෙන් බැලීමට ඇයව යොමු කළ අතර, සෑම රාත්‍රියක ම අලුයම 4ට ඇය අවදි වී, "තාමත් පෙන්නන ඩේටා අවුල් ද, ශරීර උෂ්ණත්වය තවමත් වැඩි මට්ටමක පවතිනවා ද කියලා බලන්න ඇප් එක රිෆ්‍රෙෂ් කරලා බැලුවා. මට ඕන වුණේ ඒක නිරෝගී ගැබ්ගැනීමක් කියන බලාපොරොත්තුව තියා ගන්න විතරයි," යනුවෙන් ඇය පැවසුවාය.

එම දත්ත "උමතුවක්" වූ බව පැවසූ ඇය, "නමුත් මට නම් ඒක ඇත්තට ම ජීවිතයත් මරණයත් අතර දෙයක් වගේ දැනුණා" යනුවෙන් ද පැවසුවා ය.

A screenshot showing fitness tracker stats as a line graph. The vertical axis reads: Restored, Relaxed, Engaged and Stressed.
ඡායාරූප ශීර්ෂ වැකිය, රවිකාට තම ෆිට්නස් ට්‍රැකර්හි දත්ත පරීක්ෂා කිරීම "උමතුවක්" බවට පත් විය

බොහෝ කාන්තාවන්ට තමන් ගැබිනියක් විය හැකි බවට ලැබෙන පළමු සලකුණ වන්නේ අපේක්ෂිත දිනවලදී ඔසප් වීම සිදු නොවීමයි. ගැබ්ගෙන ඇත්දැයි දැන ගැනීම සඳහා පරීක්ෂණයක් සිදුකිරීමට හැකි වන්නේ ද ආසන්න වශයෙන් මෙම කාලයේදීම ය. ගර්භණීභාවය කල්තියා හඳුනාගත හැකි බව පවසන ඇතැම් පරීක්ෂණ හැරුණු විට, බොහෝ පරීක්ෂණ මගින් ඔසප් වීම මග හැරෙන දිනය එළඹෙන තුරු හෝමෝනවල සිදුවන වෙනස්කම් හඳුනාගත නොහැක.

නමුත් ෆිට්නස් ට්‍රැකර් උපාංග ඔස්සේ කල් තියා මෙම ලක්ෂණ නිරීක්ෂණය වන බව පවසන සිය ගණනක් වූ කාන්තාවන් අතරින් රවිකා ද එක් අයෙකි.

ස්මාර්ට් මුදු, ස්මාර්ට් ඔරලෝසු සහ පපුවේ පළඳින ට්‍රැකර් ඇතුළු ෆිට්නස් ට්‍රැකර් උපාංග එක්සත් රාජධානිය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත. YouGov පර්යේෂණයකට අනුව, 2026 ජනවාරි මාසය වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන වැඩිහිටියන්ගෙන් 36%ක් ෆිට්නස් ට්‍රැකර් උපාංගයක් තමන් සතුව තබාගෙන භාවිත කර ඇත. එය 2019 ජූලි මාසයේ පැවති ප්‍රතිශතය මෙන් දෙගුණයකට ආසන්න ගණනකි.

ඉන්දියාවේ 'Ultrahuman' සහ හොංකොංහි 'RingConn' වැනි සමාගම් ඇතුළත් ස්මාර්ට් මුදු වෙළෙඳපොළ තුළ වැඩි ම අලෙවියක් වාර්තා කරන්නේ ෆින්ලන්ත-ඇමෙරිකානු 'Oura' සමාගමයි.

ගැබ්ගැනීම් මෙන් ම ගබ්සාවීම් ගැන ද පුරෝකථනය කිරීම

ගැබ්ගැනීමක ප්‍රධාන සංකේතයක් වන්නේ ශරීර උෂ්ණත්වයේ සිදුවන වෙනස්වීමයි. එමගින් අදහස් වන්නේ ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කළ හැකි උපාංග දරුවන් බලාපොරොත්තුවෙන් පසුවන අය අතර වඩාත් ජනප්‍රිය වන බවයි.

සාමාන්‍ය ඔසප් චක්‍රයකදී, කාන්තාවකගේ ශරීර උෂ්ණත්වය ඔසප් වීම ආරම්භ වීමට ආසන්න මොහොත දක්වා ම ඉහළ මට්ටමක පවතින අතර, පසුව එය ශීඝ්‍රයෙන් පහළ යයි. නමුත් ගර්භණීභාවයේ මුල් අවදියේදී ශරීර උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඉහළ මට්ටමකම පවතී. ෆිට්නස් ට්‍රැකර් උපාංගයක් මගින් ශරීර උෂ්ණත්වය මනිනු ලබන්නේ නම් එයට මෙම මුල් ලක්ෂණය පහසුවෙන් හඳුනාගත හැකිය.

තම සෞඛ්‍ය දත්ත නිරීක්ෂණය කිරීමට අමතරව, ඕරා මුදුවේ "major signs" දැනුම්දීම හරහා තමන් ගැබ්ගෙන ඇති බව පමණක් නොව, ගබ්සාවක් සිදුවන බවත් එම උපාංගය පෙර දැනුම් දුන් බව පැවසූ කාන්තාවන්ගේ Reddit සටහන් ද රවිකා කියවීමට පටන් ගත්තා ය.

A screenshot of an Oura "Major signs" notification. In white writing against a backdrop of a large white cloud in a blue sky, it reads: Major signs of strain. Even with an optimal Readiness Score, your biometrics show major signs of something straining your body. Prioritize rest today to help maintain your readiness.
ඡායාරූප ශීර්ෂ වැකිය, "Major signs" නොටිෆිකේෂන්ස් හරහා තමන්ට ගබ්සාවක් සිදුවන බව ද Oura Ring උපාංගය කල් තියා සංඥා කළ බව ඇතැම් කාන්තාවෝ සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණහ

32 හැවිරිදි සොෆියා ද ඔවුන්ගෙන් එක් අයෙකි. ඇයගේ දැනට මාස පහක් වයසැති පිරිමි දරුවා ලැබීම සඳහා තෙවන වරටත් ගැබ් ගැනීමට පෙර ඇය ගබ්සාවීම් දෙකකට මුහුණ දුන් අතර එම අවස්ථා දෙකෙහිදී ම සිදු වූ ගබ්සාවන් ඇය හඳුනාගත්තේ ඇගේ ඕරා මුදුවේ සටහන් වුණු දත්ත මගිනි.

පසුගිය වසරේ මුල් භාගයේදී ඇය පළමු වරට ගැබ්ගත් අතර ඇය සෑම උදෑසනක ම ඇගේ ජංගම දුරකතන යෙදුම පරීක්ෂා කළා ය.

"මම උදේට ඇහැරිලා ශරීර උෂ්ණත්ව රේඛාව ඉහළ යනවා ද කියලා බලනවා. නමුත් එක් උදෑසනක මගේ ශරීර උෂ්ණත්වය පහත වැටී ඇති බව ඇප් එකෙන් දැක්කා. ඒ විදිහට තමයි මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා මම දැනගත්තේ," ඇය පැවසුවාය.

"මට ගබ්සාව සිදු වෙනකොටත්, මම දැකපු දත්ත නිසා මගේ මනස ඒ වෙනුවෙන් යම් තාක් දුරකට සූදානම් වෙලයි තිබුණේ."

මාස තුනකට පසුව නැවතත් එම සිදුවීම ම සිදු වූ අතර යම් කාලයක් ගතවන තුරු දරුවෙකු පිළිසිඳ ගැනීමක් සඳහා උත්සහ නොකිරීමට සොෆියා සහ ඇගේ සැමියා තීරණය කළහ. නමුත් එම කාලය අතරතුරදී, ඇගේ මුදුවෙන් "සුළු වෙහෙසකර බවක ලක්ෂණ" ඇති බවට දැනුම්දීමක් ලැබුණු අතර, ඇගේ ශරීර උෂ්ණත්වය නැවතත් ඉහළ ගොස් ඇති බව ඇයට නිරීක්ෂණය විය. ඇය යළිත් පරීක්ෂණයක් සිදු කළ අතර එය ධනාත්මක විය.

මෙම ගැබ්ගැනීම නිරෝගී එකක් වුව ද මුල් සති කිහිපය පුරා ම සොෆියා කණස්සලෙන් පසුවූ අතර, නිතර නිතර සිය දත්ත පරීක්ෂා කරමින් සිටියා ය.

"මම හිතුවා 'අනේ දෙවියනේ, ඒක ආයෙමත් වෙන්න ද යන්නේ?' කියලා. මට මතකයි මම පාන්දර හතරට පහට විතර අවදි වෙලා, උෂ්ණත්වය පහළ බැහැලා ද බලන්න ඇප් එක චෙක් කරනවා," ඇය පැවසුවාය.

"ඒ කාරණය ගැන මට කොතරම් හොඳ අවබෝධයක් තිබුණා ද කියනවා නම්, ගැබ්ගෙන සති හතක් හෝ අටක් ගතවන විට මට මගේ මුදුව ගලවා දැමීමට සිදුවුණා, ගර්භණී කාලයේ පළමු මාස තුන පුරාවට ම මම ඒක පැළඳුවේ නැහැ."

ඉහළ යන කාංසාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඔබ ගැබ්ගැනීමක් සැලසුම් කරමින් සිටිනවා නම් එය ඔබේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කරන නිසා වැඩිදුර තොරතුරු දැන ගැනීමට සහ යම් යම් කරුණු හැකි ඉක්මනින් හඳුනා ගැනීමට මිනිස්සු මෙම තාක්ෂණය භාවිත කිරීම තේරුම් ගත හැකි කාරණයක්," ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් රෝහලේ ප්‍රජනන වෛද්‍ය පිළිබඳ උපදේශක වෛද්‍ය ස්ටුවර්ට් ලැවරි පැවසුවේය.

කෙසේ වෙතත්, "අපි ඇවිදින්නත් කලින් ම දුවනවා වෙන්න පුළුවන්," ඔහු අනතුරු ඇඟවීය.

"මෙහි විශ්වාසනීයත්වය ගැන කතා කරන්න විශාල දත්ත ප්‍රමාණයක් සහ පර්යේෂණ අවශ්‍ය වෙනවා… එසේ නොමැති වුවහොත් සිදුවන්නේ ඔබේ කාංසාව ශීඝ්‍රයෙන් ඉහළ යාමයි," ඔහු පැවසුවේය.

"මේ වගේ දේවල් හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදුම් හෝ පැළඳිය හැකි උපාංග වැනි තාක්ෂණ භාවිත කරන පිරිස තවත් වැඩිවන බවට මට සැකයක් නැහැ. නමුත් ඒවා එන්න ඕනේ නිරවද්‍යතාව සඳහා අපට කොපමණ දුරකට විශ්වාසය තැබිය හැකි ද යන්න පිළිබඳ ලොකු සෞඛ්‍යමය අනතුරු ඇඟවීමක් සමගයි."

ගර්භණීභාවයේ මුල් අවධියේදී තම මුදුවෙන් ලබාගන්නා දත්ත පරීක්ෂා කිරීම හේතුවෙන් කාන්තාවන්ට ඇතිවන කාංසාව පිළිබඳව විමසූ විට Ouraහි කාන්තා සෞඛ්‍ය අංශයේ සායනික අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස් කරි බීබීසී පුවත් වෙත මෙලෙස පැවසුවා ය. "ජෛවමිතික දත්ත නිරීක්ෂණය කළත් නැතත්, ගර්භණීභාවය කියන්නේ අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. එහිදී බොහෝ කාන්තාවන්ට විශේෂයෙන් ම පළමු වරට ගැබ් ගත් කාන්තාවන්ට කුමන තත්ත්වයක් සාමාන්‍ය ද යන්න පිළිබඳව අවබෝධයක් නොතිබෙන්න පුළුවන්."

කාන්තාවන්ට කාංසාව අධික ලෙස දැනෙනවා නම්, "ඕරා මුදුව මගින් දත්ත රැස්කිරීම තවදුරටත් සිදු කරද්දී, අදාළ යෙදුම භාවිත කිරීමෙන් විරාමයක් ගන්න කියලා සමාගම දිරිමත් කරනවා. මෙම මුදුව සහායක මෙවලමක් මිස ඔබේ වෛද්‍යවරයා සඳහා ආදේශකයක් නෙමෙයි," ඇය තවදුරටත් පැවසුවා ය.

රවිකා අවාසනාවන්ත ලෙස ගබ්සාවකට ලක්වූවා ය. ඇය නැවතත් ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන අතර, ඇය මුහුණ දුන් අත්දැකීම නිසා නැවතත් එම උපාංගය පැළඳීම පිළිබඳව යළි සිතා බැලීමට ඇයව පොළඹවා තිබේ.

"මම සාමාන්‍යයෙන් කාංසාවට පත්වන පුද්ගලයෙක් කියලා හිතුවේ නැහැ. ඒත් ඉදිරියේදී මම ගැබ්ගෙන ඇති බවට සැකයක් ඇතිවෙලා, ඒ අතරේ මගේ සෞඛ්‍ය දත්ත අඩු මට්ටමක් පෙන්නුම් කළොත්, ගර්භණී පරීක්ෂණයේ ප්‍රතිඵලය ධනාත්මක බව තහවුරු වූ වහාම ඕරා මුදුව ඉවත් කර තැබීම තමයි මට හොඳ ම දේ කියලා මම හිතනවා."