ශ්‍රී ලංකාවට ඇමෙරිකාවෙන් සහනයක්: බලහත්කාරී ශ්‍රම බද්ද 12.5% සිට 10% දක්වා අඩුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඇමෙරිකාවට වෙනත් රටවල්වලින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා බලහත්කාරී ශ්‍රමය සම්පූර්ණ වශයෙන් ම යොදාගෙන හෝ අර්ධ වශයෙන් යොදාගෙන තිබෙන්නේදැයි විමර්ශනය කිරීමේ අරමුණින්, ඇමෙරිකා එක්සත් ජනපද එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය විසින් එලෙස භාණ්ඩ අපනයන කරනු ලබන රටවල් 60ක් සම්බන්ධයෙන් 2026 මාර්තු මාසයේදී විමර්ශනයක් ආරම්භ කරන ලදී.
ඒ අනුව, මේ වන විට එම විමර්ශනයට අදාළව අවසන් තීරණයකට පැමිණ උක්ත රටවල් සඳහා පනවන තීරු බදු ප්‍රතිශත එම ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, එම රටවල් අතර සිටින ශ්‍රී ලංකාවට ඒ අනුව 10% ක තීරු බද්දක් පැනවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් යෝජිත තීරු බද්ද 12.5%ක් වූ නමුත් අවසාන තීරණය නිවේදනය කිරීමේදී එය 10%ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.
සිදුවූයේ කුමක් ද?
2026 මාර්තු 12 වන දින එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය විසින් නිවේදනය කළේ ඔවුන්ගේ රටට භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල්වල එම භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී බලහත්කාරී ශ්‍රමය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් යොදාගෙන තිබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් රටවල් 60ක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව යි.
1974 වෙළඳ පනතේ 301 වන වගන්තිය ප්‍රකාරව ඇරඹි මෙම විමර්ශනය ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු රටවල් ඇතුළුව, ප්‍රධාන වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරනු ලබන රටවල් 60ක් සම්බන්ධයෙන් සිදු කරන ලදී.
මෙම රටවල් සම්බන්ධයෙන් නිර්ණායක සලකා බැලීමෙන් අනතුරුව බලහත්කාරී ශ්‍රමය සහිත භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර ඇති හෝ එලෙස තහනම් කිරීමට කැපවී සිටින රටවල් සඳහා 10%ක තීරු බද්දක් ද, අනෙකුත් විමර්ශනය කරන ලද රටවල් සඳහා 12.5%ක තීරු බද්දක් පැනවීමටත් උක්ත කාර්යාලය විසින් මුලින් යෝජනා කරන ලදී.
එහිදී මුල් අවස්ථාවේ ශ්‍රී ලංකාව සිටියේ බලහත්කාරී ශ්‍රමය සහිත භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර ඇති හෝ එලෙස තහනම් කිරීමට කැපවී සිටින රටවල් ලෙස නම් කර තිබූ රටවල් අතර නොවූ බැවින් ශ්‍රී ලංකාවට යෝජිත තීරු බද්ද වී තිබුණේ 12.5%කි.
පසුව මෙම වෙළඳ නියෝජිත කාර්යාලය විසින් සිදු කරන ලද සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට පනවනු ලබන්නේ 10%ක තීරු බද්දක් පමණක් බව ජූලි 23 වන දින මේ සම්බන්ධයෙන් නිකුත් කළ අවසන් තීරණයේ දක්වා තිබේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් කිහිපයක් එම සාකච්ඡාවලින් පසුව බලහත්කාරී ශ්‍රමය යොදාගත් භාණ්ඩ ආනයනය තහනම් කිරීමට පියවර ගැනීමත් සමග එම තීරණයට එළැඹුණු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිල නිවේදනයේ දැක්වේ.
ජනාධිපති අනුර නිකුත් කළ අති විශේෂ ගැසට්ටුව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙලෙස බලහත්කාරී ශ්‍රමය සම්බන්ධයෙන් එක්සත් ජනපදය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර ජූලි 10 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුව, මින්පසුව ආනයන සිදු කිරීමේදී අනුගමනය කළ යුතු රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.
මෙම රෙගුලාසි "2026 අංක 07 දරන භාණ්ඩ ආනයනය තහනම් කිරීම පිළිබඳ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි" ලෙස නම් කර තිබේ.
ඒ අනුව, බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්, කැණීම් කරනු ලබන, නිෂ්පාදනය කරනු ලබන හෝ නිම කරනු ලබන ඕනෑ ම භාණ්ඩයක් ආනයනය කිරීම මෙයින් තහනම් කර තිබේ.
මෙහිදී ආනයනය කරන භාණ්ඩවල ඉහත ආකාරයේ බලහත්කාරී ශ්‍රමයක් නොමැති බව තහවුරු කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කලින් කලට නියම කරනු ලබන ලේඛනමය සාක්ෂි, ප්‍රකාශ හෝ සහතික ඉදිරිපත් කිරීම කළ යුතු ය.
මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ වගකිවයුතු නියාමන අධිකාරිය වන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ය.
මුදල් අමාත්‍යංශය විසින් ජූලි 24 දින නිකුත් කළ නිවේදනයක ද දැක්වෙන්නේ මෙම අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස යෝජිත තීරු බදු ප්‍රතිශතය 10%ක් දක්වා අඩුවූ බව ය.
'දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්කගතව සාකච්ඡා පැවැත්වීමේ ප්‍රතිඵලයක්'
මේ අතර ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහින්ද සමරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ ජූලි 24 තැබූ සටහනක සඳහන් කර ඇත්තේ මෙලෙස තීරු බද්ද 10%ක් දක්වා අඩු කරගැනීමට හැකි වූයේ ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමේ කැපවීම මත බව ය.
"ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, අතිගරු ජනාධිපතිතුමන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ අදාළ නියෝග, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම (දූත කණ්ඩායමේ නායක), මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දිරරාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසේ දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්කගතව සාකච්ඡා පැවැත්වීම, දෛනික සම්බන්ධීකරණය, බුද්ධි තොරතුරු රැස් කිරීම, උපදෙස් සහ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ හිත ගොඩනැගීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම හිතකර ප්‍රතිඵලය ලැබුණි," යැයි ඔහු සඳහන් කර තිබේ.
මේ බද්ද පැනවෙන්නේ ඇයි?
බලහත්කාරී ශ්‍රමය සම්බන්ධයෙන් මෙවැනි බදු පැනවීමක් සිදු කරන්නේ ඇයිදැයි බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ සඳහන් කළේ මෙවැනි බදු පැනවීම් සිදු කරන්නේ බලහත්කාරී ශ්‍රමය අවම කිරීමේ අරමුණින් බව ය.
"ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝකයේ රටවල් 60ක් ඉලක්ක කරගෙන බලහත්කාරී ශ්‍රමය අවම කිරීම සඳහා බදු පැනවීමක් සිදු කරනවා.
ලෝකයේ සැපයුම් ජාලය තුළ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ, භාණ්ඩ නිෂ්පාදනය කරලා ප්‍රවාහනය කරලා බෙදා හැරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය තුළ බලහත්කාරී ශ්‍රමය යොදාගැනීම සැලකිය යුතු මට්ටමකින් සිදු වෙනවා. ඒක ලෝකයෙන් ඉවත් කිරීම සඳහා හෝ අඩු කිරීම සඳහා තමයි මේ ආකාරයේ බදු පැනවීමක් සිදු කරන්නේ," ඔහු පැහැදිලි කළේ ය.
එමෙන් ම බලහත්කාරී ශ්‍රමය යන්නට පුළුල් අර්ථකථනයක් ද ඇති බව ඔහු පෙන්වා දෙයි.
"බලහත්කාරී ශ්‍රමය කියන එකට පුළුල් අර්ථකථනයක් තියෙන්නේ. බලෙන් වැඩ ගැනීම විතරක් නෙවෙයි, අඩු වැටුපට වැඩ කිරීම, සේවකයන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රමවේදයක් නොමැති වීම වගේ දේවලුත් මේකට අයත් වෙනවා."
මෙයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති බලපෑම කුමක් ද?
මෙහිදී බීබීසී සිංහල විසින් මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ මෙම බදු පැනවීම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනු ඇත්ද යන්න ය.
"ලංකාව වගේ ම අපනයන සිදු කරන තරගකාරී රටවල් වෙන ඉන්දියාව, වියට්නාමය සහ ආර්ජන්ටිනාව වගේ රටවලුත් මේ බද්දට ඇතුළත් වෙලා ඉන්නවා. මේ හැමෝට ම එක හා සමාන වගේ බද්දක් පැනවීම අන්තර්ජාතික වෙළඳාම තුළ ලොකු බලපෑමක් ඇති කරන්නේ නෑ," ඔහු පැහැදිලි කරයි.
මහාචාර්ය අතුකෝරාළ පැවසුවේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ ස්වභාවය අනුව ද එතරම් බලපෑමක් එයින් ආර්ථිකයට සිදු විය නොහැකි බව ය.
"දැන් මිල සාපේක්ෂව වැඩි වෙනවා. නමුත් අපි අපනයන කරන භාණ්ඩ නම්‍ය ද අනම්‍ය ද කියන එක මත තමයි ඇමෙරිකානු ජනතාව අපේ භාණ්ඩ මිලදී ගන්නව ද කියන එක තීරණය වෙන්නේ. අනම්‍ය භාණ්ඩවලට නම් මේක ලොකු බලපෑමක් ඇති කරන්නේ නෑ. පුද්ගලයන්ට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ එහෙමත් නැතිනම් නම්‍ය භාණ්ඩ සඳහා යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වුණා කියලා ඒවාට තියෙන ඉල්ලුම අඩු වෙන්නේ නෑ. "
ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් අපනයනය කරන රෙදිපිළි වගේ දේවල් ශ්‍රී ලංකාවේ සන්නාමයක් යටතේ යන ඒවා නිසා ඒවාට ලොකු බලපෑමක් ඇති වෙන එකක් නෑ."
2025 තීරු බදු සහ බලහත්කාරී ශ්‍රමයට පැනවූ තීරු බද්ද අතර වෙනසක් තිබේ ද?
තව ද මහාචාර්ය වසන්ත අතුකෝරාළ පෙන්වා දුන්නේ 2025 වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු සහ මෙම තීරු බදු පැහැදිලිව ම වෙනස් බව ය.
"මුලින් ම අමෙරිකාව ටැරිෆ් එක නිර්මාණය කළේ වෙළඳ හිඟය පදනම් කරගෙන. ඔවුන් එක එක රටවල් සමග සිදු කරන ආනයන සහ අපනයනවල පරතරය පදනම් කරගෙන බදු පැනවීමක් සිදු කරන බව දකින්න ලැබුණා. ඒ බදු ප්‍රතිශතය විවිධ කාලවල වෙනස් වෙලා සංශෝධනය වුණා. ඒකට අධිකරණයේ පවා පැනවීම අසාධාරණ බව පෙන්වා දුන්නා. ඊට පස්සේ තමයි මේ තීරු බදු පනවන්නේ," ඔහු පැවසුවේ ය.
"මේක මුලින් ම වෙළඳ හිඟය මත පනවපු බද්ද නෙවෙයි සපුරා ම වෙනස් බද්දක්."

































